Sports

අපේ ආකල්ප දැන් වෙනස් වෙලා – දිනේෂ් චන්දිමාල් ප්‍රාතිහාර්යකට සැරසෙයි..!

වේගවත් තණතීරුවක ජයග්‍රහණයක්‌ උදුරා ගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සැරසී සිටියි. ලෝකයේ අංක එකේ ටෙස්‌ට්‌ පිලව අමාරුවේ දැමීමට ධනාත්මක මානසිකත්වයකින් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගයට අද (24 දා) නාග්පූර්හි පිහිටි විදර්භා ක්‍රිකට්‌ සංගම් ක්‍රීඩාංගණයට පිවිසෙනු ලබන්නේ ප්‍රතිහාර්යයක්‌ කිරීමේ දැඩි අදිටනකින් යුක්‌තවය.

‘මෙහිදී තරගයක්‌ හෝ තරගාවලියක්‌ දිනාගැනීම අපිට විශාල අභියෝගයක්‌. නමුත් අපිට යම් යම් ප්‍රතිහාර්යක්‌ කළ හැකි බව විශ්වාසයි. අපේ සැලසුම් ක්‍රියාත්මක කළහොත් ඉන්දියානුවන්ව පීඩනයට ලක්‌කරන්න හැකියාවක්‌ තියෙනවා.’ යෑයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

“ ඉන්දීය කණ්ඩායම පසුගියවර ශ්‍රී ලංකාවේ කර තරග සංචාරයේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා’ වැදගත්ම දේ තමයි අපි ඉන්දියාවට ආවේ තරගාවලිය දිනන්නයි. අපේ ආකල්ප වෙනස් වී තිබෙනවා. අපි මේ හා ආවේ මේ ටෙස්ට් තරගාවලිය දිනන බවට වන මානසික මට්ටමකින්”

වේගවත් තණතීරුවක පිති ප්‍රහාරයේ යෙදීම ද දැලි පිහියෙන් කිරි කන්නාක්‌ මෙන් අපහසු කර්තව්‍යයකි. දෙරට අතර පළමු ටෙස්‌ට්‌ තරගය පැවැති කොල්කටා ඊඩ්න් ගාර්ඩ් ක්‍රීඩාංගණයේදී ඉන්දියානුවන්ගේ පළමු ඉනිමට සහ ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමට සිදුවූයේ ද වේගපන්දු ප්‍රහාරයට හසුව නන්නත්තාර වීමය.

‘පළමු දින දෙකේදී මෙම තණතීරුව වේගපන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වෙන්න පුළුවන්. නමුත් පිතිකරුවන්ටත් යමක්‌ කළ හැකි හොඳ තණතීරුවක්‌.’ යෑයි ඉන්දියානු නායක විරාට්‌ කෝලි සුබවාදීව තරගයට පිවීසමට සූදානමින් සිටියි. එබැවින් තරගයේ කාසියේ වාසිය දිනාගන්නා කණ්‌ඩායම පළමුව පන්දු යෑවීම තෝරා ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

ෂිකර් ධවාන් විවේක ගැන්වීම හේතුවෙන් මුරලි විජේට ඉන්දියානු කණ්‌ඩායමේ ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරී තිබේ. ඉන්දියානුවන්ගේ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවෙතැයි අපේක්‍ෂා කළ ද ශ්‍රී ලංකාව බොහෝ දුරට පළමු තරගයට ක්‍රීඩා කළ සංයුතියම මේ තරගයටත් කැඳවාගෙන ඒමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

Facebook Comments

Leave a Comment

Skip to toolbar